ව්යාපෘති

සිදුවෙමින් පවතී

නිල වෙබ් අඩවිය සංවර්ධනය කිරීම

2020-08-01 to

නිල වෙබ් අඩවිය සංවර්ධනය කිරීම

සිදුවෙමින් පවතී

ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කාර්යාලය

2020-01-03 to

ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කාර්යාලය ප්‍රතිපත්ති සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යය ඵලදායී ලෙස සිදුවන බවට වගබලා ගනු පිණිස ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරමින් එයට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමේ තීරණාත්මක අරමුණින් ක්‍රියාත්මක වේ. එයට ප්‍රතිපත්ති අංශ 28ක් හා එ්වාට අදාළ අනු-අංශද හඳුනා ගැනීම අන්තර්ගත වේ. එහි ආරම්භක අදියරේදී මහජන අදහස් විමසීමේ ජාතික සභාව ව්‍යාපෘතියෙන් ලබාගත් අදහස්ද සමගින් ප්‍රතිපත්ති පත්‍රිකා කෙටුම්පත් කරන ලදී. සමාලෝචනය කොට දෙවන කෙටුම්පතක්ද සකස් කොට ඇති මෙම පත්‍රිකා වැඩිදුරටත් නිවැරදි කරනු පිණිස අවසන් ප්‍රතිපත්ති කෙටුම්පත්කරණ කමිටුව වෙත යැවෙමින් පවත්නා අතර, ඉන් සමහරක් සම්බන්ධ කටයුතු මේවන විටද අවසන්ව ඇත. මෙම ව්‍යාපෘතිය විසින් එළැඹෙන රජයට පහසුවෙන් ප්‍රයෝජනයට ගතහැකි ආකාරයේ පරිපූර්ණ හා මනා ආකෘතියක් සහිත ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමට අපේක්ෂා කරනු ලබයි. වත්මන් රජයේ ප්‍රතිපත්තීනට සාපේක්ෂව ප්‍රතිපත්ති විශ්ලේෂණයේ මූලික පදනමක් නිර්මාණය කිරීම මගින් එළැඹෙන රජය වෙත වඩාත් යහපත් ප්‍රතිපත්ති හුවමාරුවක් හා වඩාත් දැනුවත් තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ ප්‍රයත්නය වේ. අපේක්ෂිත ප්‍රතිඵල අතරට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ සම්බන්ධීකරණ කාර්යය නංවාලීම, ප්‍රතිපත්ති සංවර්ධන කාර්යය වැඩිදියුණු කිරීම හා මනාසේ සලකා බලන ලද ප්‍රතිපත්ති මගින් ජාතික ගැටලු ආමන්ත්‍රණය කිරීමේ ශක්තිමත් පදනමක් සැකසීමද අන්තර්ගත වේ. ව්‍යාපෘතියේ ඊළඟ පියවර වශයෙන්, ප්‍රතිපත්ති පත්‍රිකා සකස් කොට නිවැරදි කිරීම් සිදුකිරීමෙන් අනතුරුව, පසු විපරම් ව්‍යාපෘතියක් වශයෙන් මහජන උපදේශන හා දැනුවත්කිරීමේ ව්‍යාපාර මෙහෙයවීමේ කාර්යය ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කාර්යාලය විසින් සිදුකරනු ඇත. එකතු කරන ලද ප්‍රතිපත්ති වෙනස් කිරීම් සහ අවශ්‍යතා වඩාත් පුළුල් ලෙස මහජනතාව අතරට සහ පාර්ශ්වකරුවන් වෙත ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම මෙම ව්‍යාපාරවල අරමුණයි.

සිදුවෙමින් පවතී

මහජන අදහස් විමසීමේ ජාතික සභාව

2020-01-03 to

මහජන අදහස් විමසීමේ ජාතික සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ සිවිල් සමාජය, දේශපාලන ක්‍රියාධරයන්, වෘත්තීය සමිති, මාධ්‍ය, ප්‍රජා සංවිධාන, වෘත්තීය ආයතන, ව්‍යාපාරික ප්‍රජාව හා ආංශික නියෝජිතයන්ගෙන්ද සමන්විත විවිධාකාර සංවිධිත කණ්ඩායම් සමගින් සක්‍රීයව මුහු වෙමින් වත්මන් රජයේ ප්‍රතිපත්ති තුළ පවත්නා ප්‍රතිපත්තිමය හිදැස් හඳුනා ගැනීමයි. තීරණාත්මක ප්‍රතිපත්තිමය ගැටලු සාකච්ඡා කොට ආමන්ත්‍රණය කරනු පිණිස විපක්ෂ නායකතුමා සහ විපක්ෂයේ ඡායා අමාත්‍ය මණ්ඩලයේ අදාළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් සතිපතා පවත්වනු ලබන සාකච්ඡා සැසි සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරනු ලබයි. අනාගත රජයක් තුළ නව ප්‍රතිපත්ති අවශ්‍ය වන්නාවූ ක්ෂේත්‍ර හඳුනා ගනිමින් මේවන විට පවත්නා ප්‍රතිපත්ති හා වත්මන් ජනතා අවශ්‍යතාවයන්ද අතර පවත්නා පරතරයන්ද හඳුනා ගනිමින් පරදුකරුවන් වෙතින් වටිනා අදහස් ලබාගැනීමද එහි අරමුණකි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් වසරක් අවෑමෙන් ප්‍රතිපත්තීන්හි වෙනස්කම් සිදුකළ යුතුවන හෝ නව ප්‍රතිපත්ති ගොඩනැගිය යුතුවන ක්ෂේත්‍ර 43ක් හඳුනාගෙන ඇත. අපේක්ෂිත ප්‍රතිඵල අතරට වඩාත් තොරතුරුවලින් සන්නද්ධ හා සියල්ලන් අන්තර්ගත ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේද සුපෝෂණය, මහජන අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලනු පිණිස ප්‍රතිපත්තිමය පරතරයන් පියවීම, හා එළැඹෙන රජයක් තුළ විස්තීර්ණ හා අදාළ ප්‍රතිපත්ති සඳහා අවශ්‍ය පදනම සැකසීමද ඇතුළත් වේ.

සිදුවෙමින් පවතී

පර්යේෂණ හා දැනුම් කළමනාකරණ එ්කකය ස්ථාපනය

2020-01-03 to

පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙත සහාය කාර්යාල සේවාවන් සම්පාදනය කරමින් පර්යේෂණ හා දැනුම් කළමනාකරණ එ්කකයක් ස්ථාපනය කිරීම ව්‍යාපෘතියේ ඉලක්කගත කාර්යයකි. විශ්වසනීය තොරතුරු ජනනය කරමින්ද, ප්‍රතිපත්ති තක්සේරු කරමින්ද ප්‍රායෝගික විකල්පයන් ගොඩනඟමින්ද වත්මන් රජය විසින් සිදුකරන ලද මෑත කාලීන ප්‍රතිපත්තිමය වෙනස්කම් විශ්ලේෂණය කිරීම කෙරෙහි එමගින් අවධානය යොමු කරනු ඇත. රජය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන ගිවිසුම් හා ව්‍යාපාර යෝජනාවන්ද මෙම අංශය විසින් ඇගයුමට ලක් කරනු ඇත. ප්‍රායෝගිකත්වය හා දේශපාලනික විශ්වසනීයත්වය හෙවත් වලංගුභාවයද වැඩි වර්ධනය කරනු පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා වෘත්තිකයන් තුළ පවත්නා අප්‍රකාශිත දැනුම ප්‍රකාශිත දැනුමක් බවට පරිවර්තනය කිරීම තවත් ප්‍රධාන පැතිකඩකි. මේවන විට ක්‍රියාත්මක මට්ටමේ පවත්නා මෙම එ්කකය පාර්ලිමේන්තු වැඩ කටයුතු සවිස්තරාත්මකව විශ්ලේෂණය කරමින් විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් වෙත පරිපූර්ණ ප්‍රතිපත්ති හා ආර්ථික සමාලෝචන වාර්තා සම්පාදනය කිරීමේ කාර්යයෙහි සක්‍රීයව නිරතව සිටී. තොරතුරුවලින් සන්නද්ධ තීරණ ගනිමින් හා රජයේ යෝජනාවනට ධනාත්මක විකල්ප ඉදිරිපත් කරමින් ප්‍රතිපත්තිමය විවාදයනට ඵලදායී දායකත්වයක් ලබාදීමේ හැකියාව සහිත දැනුම්වත් හා බලගැන්වුණු විපක්ෂයක් නිර්මාණය කිරීම මින් අපේක්ෂිත ප්‍රතිඵලයන් අතරින් එකකි.

සිදුවෙමින් පවතී

"සත්කාරය” විපක්ෂ නායක මහජන සම්බන්ධතා සේවා ව්‍යාපෘතිය

2020-01-03 to

සන්නිවේදන හා ගැටලු නිරාකරණ යාන්ත්‍රණ ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානයක් යොමු කරමින් මහජනතාව හා පාර්ලිමේන්තුව අතර පවත්නා හිදැස පියවීමේ පැහැදිලි හා අත්‍යවශ්‍ය අරමුණක් ‘සත්කාරය’ ව්‍යාපෘතිය සතුවේ. රටපුරා ප්‍රජා සාකච්ඡා 100ක් සංවිධානය කිරීම හරහා වඩාත් ප්‍රතිචාරී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ගොඩනැංවීමට එමගින් අරමුණු කෙරේ. දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදෙමින් හෝ එ්වා නිරාකරණයෙහි ලා අවශ්‍ය වැඩිදුර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසමින්ද විවිධාකාර වූ අවස්ථාවන් 1,500කට වැඩි සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කොට ඇත. සිය මීළඟ දේශපාලන ව්‍යාපාර සහ මහජන ක්‍රියාකාරකම් ඵලදායී වනු පිණිස අවශ්‍ය උපාය මාර්ග සැකසීමට විපක්ෂයට ප්‍රජාවගේ සැබෑ අවශ්‍යතා අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ. ව්‍යාපෘතිය පුරාවටම, පුරවැසියන් සමඟ සම්බන්ධ වීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සක්‍රීයව ආමන්ත්‍රණය කිරීම කෙරෙහි පවත්නා සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් විරුද්ධ පක්ෂය විසින් "ජනතාවාදී විපක්ෂය" ලෙස සියප්‍රතිරූපය සාර්ථකව ඉහළ නංවා ඇත. අපේක්ෂිත ප්‍රතිඵල අතරට මහජනතාව සහ පාර්ලිමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම, සන්නිවේදන මාර්ග වැඩිදියුණු කිරීම සහ ගැටලු විසඳීමේ හැකියාව වැඩි දියුණු කිරීමද ඇතුළත් වේ. විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම මගින්, වඩාත් කාර්ය නියුක්ත සහ බල ගැන්වූණු පුරවැසියන් පිරිසක් පෝෂණය කරමින්ද, වඩාත් ඵලදායී සහ සියල්ලන් අන්තර්ගත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් නිර්මාණය කරමින් පුරවැසියන් සවිබල ගැන්වීමේ ප්‍රයත්නයක "සත්කාරය" ව්‍යාපෘතිය නිරතව සිටී.

විපක්ෂ නායක කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ, ශ්‍රී ලංකාව

+94(112)777263

+94(112)777285/+94(112)777257

oppositionleaderoffice@gmail.com